අනුරාධපුරේ
අතිරේක දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත මහත්තයා තවමත් වයසින් බොහොම තරුණ
කෙනෙක් වුණත් තමන්ගේ මෙහෙවර ගැන පුළුල් පැහැදිලි දැක්මක් තියෙන රාජ්‍ය
නිලධාරියෙක්. ඒ හින්දම අවස්ථාවක් ලැබෙන හැමවෙලාවෙම වන සංරක්ෂණය සම්බන්ධයෙන්
ජනතාව දැනුවත් කරන්නත් ඉසුරු මහත්තයා කිසි විටෙකත් අමතක කරන්නේ නැහැ.
කොහොම හරි පහුගිය දවසක එතුමාට අනුරාධපුරේ පැත්තේ කැලෑබද ප්‍රාථමික ඉස්කෝලෙක
පරිසර වැඩසටහනක විශේෂ දේශනයක් පවත්වන්න ඇරයුමක් ලැබුණා.
“හොඳයි මේ දූලා පුතාලා මට කියන්න කැලෑවකින් අපිට ලැබෙන ප්‍රයෝජන?” ඉසුරු මහත්තයා ඒ දේශනය ආරම්භ කරන්න කලින් ඒ පුංචි උන්ගෙන් ඇහුවා.“හිතේ
හැටියට ලී කපා ගන්න පුළුවන්නේ සර්.” පුංචි එකෙක් ගත් කටටම කිව්වා. නමුත්
ඒක නම් කොහොමත් හොඳ නැති උත්තරයක් හින්දා ඒකට කිසිම ප්‍රතිචාරයක් නොදක්වපු
ඉසුරු මහත්තයා ළමයින්ගෙන් ආයිමත් ඒ ප්‍රශ්නෙම ඇහුවා.
“සත්තුන්ට
තුවක්කු බඳින්න පුළුවන්නේ සර්” මෙන්න එතකොටම තව එකෙක් කියපි. වන සංරක්ෂණය
ගැන වගේම මනෝ විද්‍යාව ගැනත් සෑහෙන දුරට හදාරලා තිබුණු ඉසුරු මහත්තයට ඔන්න
එතකොට තේරුණා; පුංචි එවුන් මේ කියන්නේ තමන්ගේ වැඩිහිටියන්ගේ නොමනා
ක්‍රියාකාරකම් ගැන කියලා.
“හොඳයි ඔයාලගේ තාත්තලට නෙවෙයි ඔයාලට හිතෙන විදිහට කැලයකින් අපිට ස්වභාවිකවම අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද දන්නවද?”
ඒ
හින්දා ඉසුරු මහත්තයා ඒ ප්‍රශ්නෙම වෙන විදිහකට ඉදිරිපත් කළා. ඒත් පුංචි
උන් හැමෝම මූණෙන් මූණ බලාගත්තා මිසක් කාගෙන්වත් උත්තරයක් ලැබුණේ නැහැ. ඒත්
ඔය අතරේ එක පුංචි කොලුවෙක් කරදඬු ටිකක් උස්සලා තමන් දිහා බලන හැටි ඉසුරු
මහත්තයා දැක්කා.
“හොඳයි; ඔය පුතා කියන්න”
එතකොට ඉසුරු මහත්තයත් ඒ කොලුවව දිරිමත් කළා.
“කියන්න නම් පුළුවන් සර්; ඒත් ටීචර් ඉන්නවනේ” එතකොට කොලුවා එහාට මෙහාට ඇඹරෙමින් කිව්වා.
“නෑ, මම හිටියට කමක් නෑ; ඔය
ළමයා ඕනෙ දෙයක් කියන්න.” එතකොට ටීචරුත් කොලුවා දිරිගන්වමින් කිව්වා.
“ටීචර් දුන්නු ගෙදර වැඩ කරගෙන එන්න බැරි වුණු දාට සර්” අර කොලුවා ටීචර් දිහා හොර ඇහින් බලලා කිව්වා.
“ඉතින්?” ඉසුරු මහත්තයත් කුතුහලයෙන් ඇහුවා. එතකොට අර කොලුවා ඉසුරු මහත්තයා ළඟට තව ටිකක් කිට්ටු වුණා.
“අපිට ඉස්කෝලේ ඇරෙනකම් ටීචර්ගෙන් ගුටි නොකා ෂේප් වෙලා ඉන්න තියෙන්නෙත් කැලේම නේ සර්”
එක
අධ්‍යාපන නිලධාරීතුමෙක් දෙපාර්තමේන්තුවේ වැඩිපුර අධීක්ෂණයට ලක්නොවන පිටිසර
පාසලකට අධීක්ෂණ කටයුතුවලට ගියා. ඒකේ එක පන්තියක එකම ගාලගෝට්ටියක්. ඒත්
ගුරුවරයෙක් පැත්ත පළාතක නෑ.
“කෝ ඔයාලගේ ටීචර්?”
ඒ පන්තියේ දරුවන්ව නිස්සද්ද කරපු අධ්‍යාපන නිලධාරීතුමා ඇහුවා. “අපේ ටීචර් බබා හම්බුවෙන්න ගිහින්නේ සර්” පුංචි එවුන් කෑගහලා කිව්වා.
නමුත්
පාසලේ විදුහල්පති කාර්යාලයේ තියෙන පැමිණීමේ ලේඛනයේ ගුරුවරුන් ඔක්කොගෙම
පැමිණීමත් සටහන් වෙලා. ඒ අනුව එතුමට තේරුණා මෙතන මොකක් හරි බරපතළ දෙයක්
සිද්ද වෙන බව, ඒ කොහොම හරි ඒ දරුවන් ගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීම එතනින්ම හමාර
කරපු අධ්‍යාපන නිලධාරීතුමා පුළුවන්තරම් ඉක්මනට විදුහල්පතිතුමා මුණ ගැහෙන්න
යන්න හදනකොටම මෙන්න ගුරුතුමියක් කොහෙද ඉඳලා පන්තියට ආවා.
“ඔය ඉන්නේ සර්; අපේ ටීචර් තමයි.” එතකොට එක පුංචි එකෙක් කිව්වා.
“ටීචර්
ඔය ඇවිත් ඉන්නේ බබා හම්බුවෙන්න ගිහින්” එතකොටම තව පුංචි එකෙක් බෙරිහන්
දුන්නා. මේ කතාවෙන් අන්දමන්ද වුණු අධ්‍යපන නිලධාරීතුමා ටීචර්ගේ කේශාන්තයේ
ඉඳලා පාදාන්තය තෙක් බැලුවා.
එතකොටම පන්තියේ හිටපු තවත් කොලුපැටියෙක් කටහඩ් සද්දේ වැඩිකළා.
“අපේ ටීචර්ගේ බබා ඉන්නේ එක ශ්‍රේණියෙනේ සර්”
උපුට ගෑනිමකි.